Pixer’s Up චිත්‍රපටයට පාදක වූ සැබෑ කතාව

Pixer සමාගම විසින් නිර්මාණය කරපු Pixer’s Up නැත්නම් Up චිත්‍රපටය තිරගත වුණේ 2009 වසරේ දී. මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 175ක මුදලක් වැය වුණා වගේම චිත්‍රපටය තිරගත වීමෙන් අනතුරුව අමෙරිකානු ඩොලර් මිලියන 735.1ක ආදායමක් ද උපයා ගන්නේ දැවැන්ත සාර්ථකත්වයක් සහ ලෝකයේ බොහෝ දෙනෙකුට අමතක නොවනම සිනමා අත්දැකීමක් ද ලබාදෙමින්.

Up චිත්‍රපටය තුළ ගලාගෙන යන්නේ කාර්ල් ෆ්‍රෙඩික්සන් විසින් තමන්ගේ නිවස වෙනිසියුලාවේ ඈත වනාන්තර ප්‍රදේශයක් වෙත ගෙන යාමත්, එයට රසල් කියන බාලදක්ෂයාගේ සම්බන්ධයත් පාදක කරගෙනයි. එහිදී ඔවුන් දෙදෙනා මුහුණ දෙන ත්‍රාස ජනක අත්දැකීම් විටෙක හාස්‍ය ජනක ලෙසත්, තවත් අවස්ථාවක ශෝක ජනක ලෙසත් පෙන්වා දී තිබෙනවා.

මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ Up Movie’s True Story නැත්නම් Pixer’s Up චිත්‍රපටයට පාදක වූ සැබෑ කතාව පිළිබඳවයි.

Pixer’s UP චිත්‍රපටයේ Carl Fredricksen වූ සැබෑ ජීවිතයේ Edith Macefield
Buzzfeed

එඩිත් මැස්ෆීල්ඩ් (Edith Macefield) උපත ලබන්නේ 1929 අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ දී. ඇයගේ ජීවිතය ත්‍රාස ජනක ක්‍රියාකාරකම්වලින් පිරුණු එකක්. ලෝක යුද්ධය ආරම්භ වෙමින් තිබුණු සමයක් නිසා එඩිත්ට ඕන වෙනවා හමුදාවට එකතු වෙන්න. ඒ නිසාම ඇය අවුරුදු 18 සම්පුර්ණ වෙන්නත් පෙර බොරු වයසක් කියලා හමුදාවට එකතු වෙලා එංගලන්තයට යනවා. එහිදී ඇය යුද සරණාගත දරුවන් 27 දෙනෙකු රැක බලා ගත්තා කියලා සඳහන් වනවා.

මේ සියලු කටයුතු නිමා වුණාට පස්සේ ඇය නැවත අමෙරිකාවට එන්නේ වොෂින්ටන් අගනුවර, සියැටෙල් හී බල්ලාර්ඩ් බ්‍රිජ් කියන ප්‍රදේශයේ ඇය මිලදී ගත්ත නිවසේ පදිංචි වීම සඳහායි.

මතකයන් රැසක් පිරුණු Edith ගේ නිවස – Pixer’s UP කතාවේ ආරම්භය
Seattle Times

මේ නිවස අමෙරිකන් ජනතාව අතර ප්‍රසිද්ධියට පත් වුණේ Up House නමින්. හැබැයි එඩිත් මේ නිවස නම් කරලා තිබුණේ වයිට්වුඩ් කොටේජ් නැත්නම් වයිට්වුඩ් නිවස කියලා. වර්ග අඩි 1000කට වැඩි මේ පුංචි නිවසේ එඩිත් ඇයගේ මවත් සමඟ ජීවිතය ආරම්භ කරන්නේ වර්ෂ 1952 දී. ඒ කාලේ ඇය මේ නිවස මිලට ගෙන තිබුණේ අමෙරිකන් ඩොලර් 3,752ක් වැනි මුදලකටයි.

එහිදී ඇය ඇයගේ ජීවිතේ බොහෝ වටිනා කාලයන් රැසක් ගත කළා. ඇය රැකියාව ලෙස කළේ Spic ’N Span Cleaners නම් ආයතනයේ ගබඩා කලමණාකාරිනියක ලෙස සේවය කිරීමයි. මේ සේවය කරන කාලය ඇතුළේ ඇය ලේඛිකාවක් සහ සැක්සෆෝන් වාදන ශිල්පියනියක ලෙසත් කටයුතු කළා. ඇයගේ මව මිය යන්නෙත් මේ නිවස තුළමයි. ඊට පස්සේ ඇය ජීවත් වුණේ තනිවයි.

Seattle Times
සංවර්ධන කටයුතු ඇරඹෙයි! එඩිත්ට ලොකු මුදලක් දෙන්න සැරසෙයි
Edith Macefield House / ‍Facebook

එඩිත් මේ නිවසේ ජීවත් වෙලා ඉන්න කාලය තුළදී එයා ජීවත් වුණු සියැටෙල් හී බල්ලාර්ඩ් බ්‍රිජ් කියන ප්‍රදේශය වේගවත් සංවර්ධනයකට ලක්වෙන හැටි දැක්කා. පරණ නිවාස එකිනෙක නැතිවෙලා දැවැන්ත මහල් නිවාස හැදෙන හැටිත්, කුඩා සාප්පු නැතිවෙලා විශාල සාප්පු සංකීර්ණ හැදෙන හැටිත්. පරණ මෝටර් රථ වෙනුවට නවීන පන්නයේ වාහන එයා ජීවත් වුණු ප්‍රදේශයට ආපු හැටිත්, ඒ ප්‍රදේශයන් බොහෝමයක් ජනාකීර්ණ හැටිත් ඇය දැක්කා.

මේ අතර එඩිත්ගේ වයිට්වුඩ් නිවසා Up House ලෙස හඳුන්වන සිදුවීම ආරම්භ වන්නේ 2006 වසරේ දී. එඩිත් ජීවත් වුණු නිවාස අසළ තිබූ නිවාස බොහෝමයක් එක් සංවර්ධන ආයතනයක් ඉඩම් සමඟම මිලට ගන්නවා දැවැන්ත සාප්පු සංකීර්ණයක් ආරම්භ කරන්න. එම ස්ථානයේ තිබූ බොහෝ නිවස් ප්‍රමාණයක් එකිනෙක නැතිවෙලා යද්දී එඩිත් ඇයගේ නිවස දාලා යන්න සුදානම් වුණේ නැහැ.

ඇයට ඒ නිවස සහ ඉඩම සඳහා සංවර්ධන ආයතනය විසින් අමෙරිකන් ඩොලර් මිලියනයකට වඩා ලොකු මුදලක් ලබාදෙන්න සැරසුනත් එඩිත් ඒ මුදල ප්‍රතික්ෂේප කරන්න කටයුතු කළා.

Pixer’s Up චිත්‍රපටයේ දර්ශනයක ඇරඹුම
Buzzfeed

ඔයාලාට මතක නම් Up චිත්‍රපටය ඇතුළේ කාර්ල් ෆ්‍රෙඩික්සන් එයාගේ නිවස දාලා යන්නේ නැති නිසා සංවර්ධන කටයුතු එයාගේ නිවස තියෙන තැන ඉතිරි කරලා අනිත් හැම බිමකම ආරම්භ වෙනවා. මේ උඩ ඡායාරූපයේ තියෙන්නේ ඒ සිදුවීම.

එඩිත්ගෙන් නිවස සහ ඉඩම ගන්නම බැරි තැන ඉංජිනේරුවන් විසින් ඇයගේ නිවස තිබෙන ඉඩම ඉතිරි කරලා වටෙන් වෙළෙඳ සංකීර්ණය නිර්මාණය කිරීම ආරම්භ කරනවා. ඉංජිනේරුවරුන්ට සාප්පු සංකීර්ණය නිර්මාණ සැලැස්ම පවා මේ නිසා වෙනස් කිරීමට සිදුවුණා කියලා සඳහන් වෙනවා.

හැබැයි කිසිම දිනක එඩිත් සහ සංවර්ධන නිලධාරීන් අතර ගැටුමක් ඇතිවෙලා තිබුණේ නැහැ. ඇය සහ කම්කරුවන්, ඉංජිනේරුවරුන් හොඳම මිතුරන් ලෙස කටයුතු කළා කියලා සඳහන් වෙනවා.

Edith Macefield මිය යයි

2008 වසරේ ජූනි 15 වනදා එඩිත් මිය යනවා. ඇය මිය යද්දී වයස අවුරුදු 86ක් වුණා. එඩිත් මරණයට පෙර ඇයගේ නිවස ඇයගේ මිතුරෙකු වූ බැරී මාර්ටින් වෙත නීතියෙන් පවරා තිබුණා. මේ බැරී කියන්නෙත් ඉදිකිරීම් කටයුතු සඳහා පැමිණි ඉංජිනේරුවරයෙක්. ඇය ඔහු සමඟ හොඳ සම්බන්ධයක් පවත්වාගෙන ගියා කියලා සඳහන් වෙනවා. බැරි තමයි ඒ වෙද්දී පිළිකාවකින් පිඩා විඳිමින් හිටපු එඩිත්ව රෝහලට එහෙම අරගෙන ගියේ.

වයිට්වුඩ් නිවස පසුව වෙන්දේසියකට නියම වුණා කියලා සඳහන් වෙනවා. එතනදී බැරි විසින්ම අමෙරිකන් ඩොලර් 310,000ක් නිවස වෙනුවෙන් ඉදිරිපත් කළත් යම් ගැටලු කිහිපයක් ඇතිවීම නිසා ඒ ගනුදෙනුව සිදුවන්නේ නැහැ.

පසුව ගනුදෙනුකරුවන් බොහෝ දෙනෙකු නිවස මිලදී ගැනීම සඳහා මිල ගණන් ඉදිරිපත් කළත් කිසිවෙකුට එය මිලදී ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඉතින් අදටත් 1438 N.W. 46th St. කියන ලිපිනයේ නිවස ඒ විදිහටම ඉතිරි වෙලා තියෙනවා. කිසිවෙකුත් පදිංචි නැති මේ නිවස සමාජ සේවා වැඩවලට එහෙම යොදාගන්නවා කියලයි සඳහන් වන්නේ.

Pixer’s Up චිත්‍රපටය ආදායම් වාර්තා බිඳ දමයි – එඩිත්ගේ මතකය යළිත් කරළියට
Eater Seattle

2009 දී Pixer සමාගම විසින් Up සජීවිකරණ චිත්‍රපටය තිරගත කිරීමත් සමඟ එය ලෝකය පුරාවටම ආදායම් වාර්තා බිඳ දමමින් විශාල ප්‍රේක්ෂක පිරිසකගේ ආදරයට පාත්‍ර වුණා. ඒ අතර තමයි මාධ්‍ය තුළින් සහ තවත් බොහෝ දෙනා අතර මේ චිත්‍රපටය එඩිත් මැස්ෆීල්ඩ් නම් අපූරු කාන්තාවකගේ ජීවිත කතාවක් ද සැඟවී තියෙනවා කියලා වාර්තා වන්නේ.

ඒක දැන ගත්ත බොහෝ දෙනා එඩිත්ගේ වයිට්වුඩ් නිවස සොයාගෙන සියැටෙල් හී බල්ලාර්ඩ් බ්‍රිජ් ප්‍රදේශයට පැමිණෙන්නේ. චිත්‍රපටයෙන් පස්සේ මෙම නිවස විශාල සංචාරක ආරක්ෂණයක් සහිත ස්ථානයක් බවට පත්වෙනවා.

බොහෝ දෙනෙක් මෙතනට ඇවිල්ලා බැලූනයක් නිවසේ වැටේ එල්ලලා යන්න කටයුතු කරලා තියෙනවා සිහි වටනයක් විදිහට.

මේ පහළ තියෙන්නේ ඒ විදිහට මිනිස්සු ඇවිල්ලා නිවස අසළ බැලූන් එල්ලා ගිහින් තියෙන ආකාරයයි.

ඉතින් ඔය විදිහට තමා ලෝකයක් ආදරය කළ Up චිත්‍රපටය නිර්මාණය කිරීමට අවශ්‍ය පාදම එඩිත්ගේ කතාව හරහා නිර්මාණය වෙන්නේ. ඉතින් මේ කතාව ඇතුළෙත් Pixer නිර්මාණය කරපු Up චිත්‍රපටයේ වගේ සමහර සිදුවීම් දැක ගන්නත් පුළුවන්.

මේ ගැන ඔබේ අදහස?
+1
3
+1
14
+1
1
+1
0
+1
0
+1
0
error: Content is protected !!