Unit 731 හෙවත් ජපානයේ බිහිසුණුම සිර කඳවුර

දෙවන ලෝක යුද්ධය තුළ සිදුවුණු සිදුවීම් පිළිබඳව අදටත් බොහෝ දෙනෙක් මතක් කරන්න අකමැතියි. මොකද සමහර සිදුවීම් ඇතුළේ ලොකු කෲරත්වයක් සහ බිහිසුණු භාවයක් තිබුණා. සමහර සිර කඳවුරුවල සිදුවුණු දේවල්, එහි සිටි සිරකරුවන්ට සිදුවුණු සමහර දේවල් අදටත් අභිරහසක්.

‘Unit 731’ නැතිනම් ‘731 වන ඒකකය’ කියන්නේ ජපාන ඉතිහාසයේ විතරක් නෙමෙයි, ලෝකය ඉතිහාසයේ ම තිබූ සිරකරුවෙකුට ඉන්න පුළුවන් බිහිසුණුම සිර කඳවුරුවලින් එකක්. හේතුව තමා මෙම සිර කඳවුර නිකන්ම සිරකරුවන් දාලා තිබුණු තැනක් නෙමෙයි, මෙහි ජීවත් වු සිරකරුවන් යොදාගෙන විවිධ පර්යේෂණ කරපු තැනක්.

චීනයේ පින්ග්ෆන්ග් දිස්ත්‍රික්කයේ අදටත් Unit 731 කඳවුර පිහිටා තිබූ ගොඩනැගිලි සහ නටබුන් පවතින අතර චීනය අද වන විට එය කෞතුකාගාරයක් සහ එම කඳවුර තුළ දැඩි වද බන්ධනයට ලක්ව මිය ගිය පුද්ගලයින්ගේ අනුස්මරණය කිරීම සඳහා වෙන් කරලා තියෙනවා

මේ අවධානය යොමු කරන්නේ Unit 731 තුළ ලක්ෂ 2කට අධික පිරිසකට මරු කැඳවූ බිහිසුණුම පර්යේෂණවලින් 06ක් සම්බන්ධවයි.

Unite 731 පර්යේෂණ 01 – Frostbite Test

Image Copyright Pacific Atrocities Education

මේ පර්යේෂණය මෙහෙය වන ලද්දේ කායික විද්‍යාඥයෙකු වන යොෂිමුරා හිස්ටෝ බව සඳහන් වෙනවා. මේ ‍’Frostbite (ෆොරස්ට්බයිට්)’ කියලා හඳුන්වන්නේ අධික ශීතල නිසා පුද්ගලයෙකුගේ හමට සිදුවනු තුවාල කිව්වොත් හරි. යොෂිමුරා විසින් 731 ඒකකයේ සිටි සිරකරුවන්ව රැගෙන ඔවුන්ගේ අධික සීතල වතුර සහිත තටාකයක ගිල්වා තැබීමට කටයුතු කරලා තියෙනවා.

සමහර වෙලාවට සිරකරුවන්ගේ අත්වල අයිස් බැදිලා ගල් ගැසෙනකන්ම ඔවුන්ව අධික සීතල සහිත වතුරේ ගිල්වා තැබූ බවට සඳහන් වනවා. ඔහුගේ අධ්‍යයනය වෙලා තිබුණේ මෙලෙස අයිස්වලින් මිදුණු අත්පා කොහොමද යථා තත්ත්වයට පත් වන්නේ සහ ඒක ශරීරයට බලපාන විදිහ සොයන එක.

ඔහු ඒ සඳහා සමහර වෙලාවට අයිස් මිදුණු අත්පය මතට උණු වතුර දමා බැලු බවත්, අත්පා ගිනි මලයකට අල්ලා බැලු බවත් සඳහන් වෙනවා. තවත් අවස්ථාවක කිසිදු ප්‍රතිකර්මයක් හෝ අයිස් ඉවත් නොකර සිරකරුවන්ව එලෙසම තබා අයිස් ඉවත් වී රුධිරය සංසරණය සඳහා කෙතරම් වෙලාවක් ගත වෙනවාද බැලීමට තැබූ බවත් සඳහන් වෙනවා.

Unite 731 පර්යේෂණ 02 – වෛද්‍ය ආචාර ධර්මවලින් එහාට ගිය අත්හදා බැලීම්

Unite 731 තුළ පවත්වාගෙන ගිය තවත් පර්යේෂණාගාරයක් තුළ මිනිසෙකුට සිදුවිය හැකි තුවාල සහ රෝගවලින් ශරීරයට සිදුවන බලපෑම් පිළිබඳව අත්හදා බැලීම් සිදුකරලා තිබුණා. සාමාන්‍ය වෛද්‍ය ආචාර ධර්මවලින් එහාට ගිහින් මේ පරික්ෂණ සිදුවුණු බවයි සඳහන් වන්නේ. ඒ කිව්වේ මේ පර්යේෂණවලට ගන්න අයට කිසිදු නිර්වින්දනයක් හෝ වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් නොමැතිව තමා අත්හදා බැලීම්වලට ගත්තේ.

මුලින්ම ජපන් හමුදා සෙබළුන් මේ සඳහා ස්වේඡාවෙන් ඉදිරිපත් වෙලා තිබුණා. හැබැයි අර ආචාර ධර්මවලින් පිට යන්න පටන් ගැනීමත් සමඟ හමුදා සෙබළුන් මේ සඳහා ඉදිරිපත් වීම අඩුවෙලා ගියා. මේ අඩුව පුරවා ගන්න කටයුතු කරලා තිබුණේ එදා 731 ඒකකය ඇතුළේ හිටපු චීන සිරකරුවන් සහ වෙනත් සිරකරුවන්ගෙන්.

මෙහිදී කිසිදු ආකාරයක නිර්වින්දනයකින් තොරව සිරුරු විච්ඡේදනය කරන්න පර්යේෂකයන් කටයුතු කළා. සිරුරේ කොටස් ගලවා නැවත මාරු කර බද්ධ කිරීම, රුධිර නාලිකා කපා හැරීම, අවයව කොටස් ගෙන පරික්ෂාවට ලක් කිරීම වගේ බිහිසුණු පර්යේෂණ මෙහිදි සිදු කළේ සියලු වේදනාවන් සිරකරුවන්ට දැනෙන අවස්ථාවකමයි.

මේ පර්යේෂණයෙන් පස්සේ ගොඩාක් වෙලාවට පර්යේෂණ සඳහා ගත්ත සිරකරුවන් වෙඩි තබා ඝාතනය කළා නැත්නම් විෂ එන්නතක් ශරීර ගත කර මරා දැම්මා. සමහර අයව පණ පිටින් වළ දැමූ බවත් සඳහන් වෙනවා. ගොඩාක් වෙලාවට මේ පර්යේෂණ සඳහා ගත්ත කිසිවෙකුට ජීවත් වෙන්න වාසනාවක් තිබුණේ නැහැ.

Unite 731 පර්යේෂණ 03 – බිහිසුණු ආයුධ අත්හදා බැලීම

Associated Press/LIFE via Wikimedia Commons

ජපන් හමුදා සෙබළුන් විසින් භාවිත කරන ලද අවි ආයුදවල ඵලදායීතාවය පරික්ෂා කිරීම සඳහා තමයි මේ අත්හදා බැලීම සිදුකරලා තිබුණේ. ඒ කියන්නේ රයිෆල්වලින් වෙඩි තිබ්බාට පස්සේ කෙනෙකුට සිදුවන හානිය පිළිබඳව අදහසක් ගැනීමට, බයිනෙත්තුවකින් ඇන්නාට පස්සේ පුද්ගලයෙකුට සිදුවන තුවාලයේ ගැඹුර සහ එකෙන් වෙන හානිය කොයි තරම් ද කියන එක වගේ අත්හදා බැලීම් කර තිබෙනවා.

තවත් අවස්ථාවලදී බෝම්බ පුපුරුවා එමඟින් වෙන තුවාල පිළිබඳවත් අධ්‍යයනය කිරීමට කටයුතු කළ බවයි සඳහන් වන්නේ. ඊට අමතවර Flamethrower නැතිනම් ගිනි විදින අවිය යොදාගෙනත් අත්හදා බැලීම් සිරකරුවන් ආශ්‍රිතව සිදුකරලා තියෙනවා. X-ray කිරණවලට පුද්ගලයින් නිරාවරණය කරලා එමඟින් සිදුවන බලපෑම් සොයා බැලීමටත්, කිරණවල අගය උස් පහත් කරමින් ලිංගේන්ද්‍රයන්ට ළං කරමින් පවා මෙම අත්හදා බැලීම් කළ බව සඳහන් වෙනවා.

Unite 731 පර්යේෂණ 04 – Syphilis හෙවත් උපදංශය

kickass facts

ලෝක යුද්ධ සමයේ දැඩිවම තිබුණු අර්බුදයක් තමයි හමුදා සෙබළන් ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු වීම. මේ නිසාම මේ රෝග වළක්වා ගන්න විවිධ අත්හදා බැලීම සිදුවුණා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි Unite 731 තුළ උපදංශය කියන ලිංගාශ්‍රිත රෝගය පිළිබඳව පරික්ෂණ සිදු කෙරුණේ. මෙහිදී රෝගය පිරිමි සිරකරුවන්ට රෝගය පැතිරීමට ඉඩ හැරලා ඔවුන්ගේ වෙනස්කම් පිළිබඳව නිරික්ෂණය කරලා තිබෙනවා. ඊට පස්සේ කාන්තා සිරකාරිනියන්ව දුෂණය කිරීමට බල කරලා රෝගය ව්‍යාප්ත වෙන ආකාරය පිළිබඳවත් අධ්‍යයනය කළා කියලා සඳහන්. පළමු පාරම ආසාදනය වී නැත්නම් නැවත නැවත දුෂණය කරන්න බල කළා කියලත් සඳහන් වෙනවා.

Unite 731 පර්යේෂණ 05 – ලිංගික අතවර කිරීම් සහ බලහත්කාරයෙන් ගැබ් ගැන්වීම

In the Darker Air

උපදංශය ආශ්‍රිතව කළ බලහත්කාර ලිංගික අතවරයන්වලට අමතරව කාන්තා සිරකාරිනියන්ව දුෂණය කිරීම සහ විවිධ ලිංගික වදහිංසා කිරීම 731 ඒකකය තුළ සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තිබුණා. මෙහිදි බොහෝ කාන්තාවන්ව බලහත්කාරයෙන්ම ගැබ් ගැනීම්වලට ලක් කරලා තිබුණා.

ඒ විදිහට බලහත්කාරයෙන්ම ගැබ් ගැනීම්වලට ලක් කරලා විවිධ රෝගවලට ගොදුරු වීමෙන් පසු, රසායනික අවිවලට නිරාවරණය වීමෙන් හෝ තැළුණු තුවාල, වෙඩි උණ්ඩ තුවාල සහ ඉරිතැලීම් තුවාල වලින් පසු කලලයට සිදුවෙන දේවල් පිළිබඳව අධ්‍යයනය කළා කියලා සඳහන් වෙනවා. ගොඩාක් අවස්ථාවලදී මේ පර්යේෂණ අතරතුර මවත් කලලයත් මරණයට පත්වෙලා තියෙනවා.

Unite 731 පර්යේෂණ 06 – ජෛව රසායනික අත්හදා බැලීම

ati

ජපානය විසින් සිදුකරන ලද කෲරතම සහ බිහිසුණුම පර්යේෂණයක් ලෙස මෙය සඳහන් වනවා. මෙහි අරමුණ වී තිබුණේ සෝවියට් සහ අමෙරිකානු හමුදාවන්ට එරෙහිව භාවිත කිරීම සඳහා ප්‍රබල අවි නිෂ්පාදනය කිරීමයි. තවත් පැහැදිළි කළහොත් ජෛව රසායනික අවි නිපදවීමයි.

මෙහිදී Yersinia pestis (යර්සීනියා පෙස්ටිස්), Bubonic (බුබොනික්) සහ pneumonic (නියුමෝනියාව) වැනි රෝගයන්ද, Typhus (ටයිෆස්) වැනි ආසාදනයන්ද මිනිසාගෙන් මිනිසාට පැතිරීම පිළිබඳව අත්හදා බැලූ බව සඳහන් වනවා. එමඟින් සතුරු හමුදාවන් සිටින ප්‍රදේශවල මෙම රෝගයන් පතුරුවා හැර ඔවුන්ව අඩපණ කිරීම අපේක්ෂා කර තිබූ බවයි සඳහන් වන්නේ.

මෙහිදී අත්හදා බැලීම් සඳහා ගත්ත සිරකරුවන් මරණය පෙනන මානයට ආ පසුව වෙඩි තබා ඝාතනය කළ අතර රෝගවලට ඔරොත්තු දුන් එහෙත් අසාධ්‍ය තත්ත්වයෙන් සිටි පිරිස් මිය යාමටත් ඉඩ හැරි බව සඳහන් වෙනවා.

මෙහිදී වඩාත්ම ප්‍රසිද්ධ කතාවක් තමා වර්ෂ 1940 ඔක්තොම්බර් 04 වනදා ජපානය බෝම්බ හෙලන යානා විසින් ජීව අත්හදා බැලීම්වල ආසාදිතයන්ගේ රුධිරය උරා බොන ලද මැක්කන් විශාල ප්‍රමාණයක් චීනයේ ගම්මානයකට හෙළන ලද සිදුවීම. එහිදී මෙම මැක්කන් නිසා වසංගත තත්ත්වයක් ඇතිවී පුද්ගලයින් 6000කට ආසන්න පිරිසක් මිය ගිය බව සඳහන් වෙනවා.

මෙය සාර්ථක විමත් සමඟ අමෙරිකාව වෙත වසංගතය පතුරුවා හැරීම සඳහා උත්සාහ කළත් එය කිසිම දිනක සාර්ථක කරගැනිමට අවස්ථාවක් උදා වී තිබුණේ නැහැ.

මේ ගැන ඔබේ අදහස?
+1
1
+1
5
+1
15
+1
0
+1
2
+1
28
error: Content is protected !!